ඔයාලට කවදා හරි හිතිලා තියෙනවද අපෙන් සදහටම සමුගත්තු, ආයෙමත් කවදාවත් දකින්න නොලැබෙන කෙනෙක්ට මැසේජ් එකක් යැව්වොත් මොන වගේ දෙයක් වේවිද කියලා? එයාලා කොහොමද ඕවා කියවන්නේ? ඕවා වැඩකට නැති බොළඳ කතා.. කියලා හිතන අය ඕනෑතරම් ඇති. හැබැයි මේ කියන්න යන්නේ, මීට වසර කිහිපයකට කලින් මුළු ලෝකෙම අඬවපු, හැඟීම්බර සත්‍ය සිදුවීමක් ගැන.
මරණය කියන්නේ හැමදේකම අවසානය නෙවෙයි, ආදරය කියන්නේ ඊට වඩා බලවත් දෙයක් කියලා ඔප්පු කරපු අපූරු ආදරණීය කතාවක් මේක...
ඇමරිකාවේ ජීවත් වුණු චැස්ටිටි පැටර්සන් (Chastity Patterson) කියන්නේ අවුරුදු 23ක සුන්දර, ආදරණීය තරුණියක්. හැම කෙල්ලෙක්ටම වගේ චැස්ටිටත් තමන්ගේ ජීවිතේ වීරයා වුණේ ඇගේ තාත්තා. ඒත් 2015 අවුරුද්දේ දවසක, කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුණු විදියට ඇගේ තාත්තා මේ ලෝකයෙන් සදහටම සමුගන්නවා.
තාත්තාගේ මරණයත් එක්ක චැස්ටිටි සම්පූර්ණයෙන්ම තනි වුණා හිත ඇතුළෙන් ඇය අන්තයටම බිඳිලා ගියා. තමන්ගේ සතුට, දුක, බය, බලාපොරොත්තු හැමදේම කියපු තාත්තා එකපාරටම නැතිවුණාම දැනෙන ඒ දරාගත නොහැකි පාළුව වචන කරන්න බෑ. අවමංගල්‍ය උත්සවය ඉවර වුණා, නෑදෑයෝ තමන්ගේ වැඩවලට ගියා, හැමෝටම ඒක සාමාන්‍ය දෙයක් වුණාට චැස්ටිටිට නම් ජීවිතය එතනින් නැවතුණා වගෙයි දැනුණේ..
දින සති මාස ගෙවිලා ගියත් චැස්ටිටිගේ හිතේ තිබ්බ දුක අබමල් රේණුවකින්වත් අඩු වුණේ නැහැ ඇයට ඕන වුණා තමන්ගේ තාත්තා තවමත් කොහේ හරි ඉන්නවා කියලා හිතලා හිත හදාගන්න ඉතින් ඇය අපූරු වැඩක් කළා.
ඇය තමන්ගේ ස්මාර්ට් ෆෝන් එක අතට අරන්, තාත්තා පාවිච්චි කරපු දැන් අත්හැර දාලා තියෙන පරණ ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් යැව්වා ඒක නිකන්ම නිකන් මැසේජ් එකක් නෙවෙයි, තමන්ගේ හදවතේ පිරිලා තිබ්බ දුක.
"තාත්තේ, මට ඔයාව ගොඩක් මතක් වෙනවා..."
එදායින් පස්සේ ඒක චැස්ටිටිගේ පුරුද්දක් වුණා. හැමදාම රෑට නින්දට යන්න කලින් ඇය තාත්තාගේ පරණ නම්බර් එකට මැසේජ් එකක් යවනවා.
"තාත්තේ, අද මම කැම්පස් එකේදී මේ වගේ වැඩක් කළා."
"අද මගේ හිතට හරි නෑ තාත්තේ, ඔයා හිටියා නම් මාව බදාගන්නවා නේද?"
"තාත්තේ, මම අද අලුත් ඇඳුමක් ගත්තා. ඔයා හිටියා නම් ඒකට කැමති වෙයිද?"
ඇය තමන්ගේ දිනපොත ලියනවා වගේ හැම පුංචි දේම ඒ නම්බර් එකට ලියලා යැව්වා. ඒ මැසේජ් වලට කවදාවත් රිප්ලයි එකක් එන්නේ නෑ කියලා ඇය දැනගෙන හිටියා. මොකද ඒ සිම් පත අක්‍රියයි හැබැයි ඒ මැසේජ් යැවීම ඇයට ලොකු සහනයක් වුණා. තමන්ගේ තාත්තා අහස කෙළවරක ඉඳන් මේවා කියවනවා ඇති කියන සැනසීම විතරක් ඇයට ප්‍රමාණවත් වුණා.
කාලය වේගයෙන් ගෙවිලා ගියා. දැන් 2019 ඔක්තෝබර් මාසය තාත්තා නැතිවෙලා හරියටම අවුරුදු හතරක් පිරෙන දවස මේ අවුරුදු හතර ඇතුළත චැස්ටිටිගේ ජීවිතේ දරුණු කුණාටු රැසකට මුහුණ දුන්නා ඇයට භයානක පිළිකා රෝගයක් වැළඳුණා හැබැයි ඇය සැලුණේ නෑ තාත්තා තමන් දිහා බලාගෙන ඉන්නවා කියන විශ්වාසයෙන් ඇය පිළිකාවට එරෙහිව සටන් කරලා ඒකෙන් සුවය ලැබුවා ඒ වගේම ඉතාම ඉහළ ලකුණු ලබාගෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් අවසන් කළා.
තාත්තාගේ හතරවැනි ගුණානුස්මරණ දවසේ රෑ, චැස්ටිටි ඇඳේ වාඩිවෙලා වෙනදාට වඩා ගොඩක් දිග මැසේජ් එකක් ටයිප් කරන්න ගත්තා. ඇගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටෙද්දී ඇය මෙහෙම ලිව්වා
"තාත්තේ, මමයි මේ. අදට ඔයා නැතිවෙලා අවුරුදු 4ක් වෙනවා මේ අවුරුදු 4ට මම ගොඩක් ශක්තිමත් වුණා මම පිළිකාව පරද්දලා සනීප වුණා තාත්තේ මම කැම්පස් එකත් හොඳටම පාස් වුණා. ඔයා මේ හැමදේම බලාගෙන ඉන්නවා නේද? ඔයා මං ගැන ආඩම්බර වෙනවා නේද? මම ඔයාට ගොඩක් ආදරෙයි, මට ඔයාව ගොඩක් මතක් වෙනවා.."
මැසේජ් එක යවලා, ඇය සුපුරුදු පරිදි ෆෝන් එක පැත්තකින් තියලා ඇස් පියාගත්තේ සුසුමක් හෙළන ගමන්.
චැස්ටිටි මැසේජ් එක යවලා මිනිත්තු කිහිපයක් යද්දී, ඇගේ ෆෝන් එක එකපාරටම වයිබ්රේට් වෙන්න ගත්තා. Screen එක දිහා බලපු ඇගේ පපුව නතර වුණා වගේ දැනුණා. ඇස් අදහාගන්න බැරි වුණා.
ඒ මැසේජ් එක ඇවිත් තිබුණේ ඇගේ මියගිය තාත්තාගේ පරණ ෆෝන් නම්බර් එකෙන්
අවුරුදු හතරක් තිස්සේ ගොළු වෙලා තිබ්බ නම්බර් එකකින් රිප්ලයි එකක්..? ඇගේ දෑත් වෙව්ලන්න ගත්තා. බය සහ කුතුහලය මැද ඇය ඒ මැසේජ් එක Open කළා. ඒකේ ලියවිලා තිබුණේ චැස්ටිටිගේ මුළු ජීවිතයම උඩුයටිකුරු කරන, ඇගේ හදවත කෑලිවලට කඩලා දාන වගේම ආයෙමත් එකතු කරන අපූරු කතාවක්.
ඒ ආපු මැසේජ් එක මෙන්න මේකයි
"Hi Sweetheart, මම ඔයාගේ තාත්තා නෙවෙයි. හැබැයි මට ඔයාගේ මේ හැම මැසේජ් එකක්ම අවුරුදු කිහිපයක් තිස්සේ ලැබුණා. මගේ නම බ්‍රැඩ් (Brad)..."
ඒ මැසේජ් එක එවා තිබුණේ බ්‍රැඩ් නමැති මැදිවියේ පියෙක්. ඔහු චැස්ටිටිට තමන්ගේ කතාව මෙන්න මෙහෙම විස්තර කරලා තිබුණා.
2014 අවුරුද්දේ සිද්ධ වුණු දරුණු රිය අනතුරකින් බ්‍රැඩ්ගේ එකම ආදරණීය දියණිය මේ ලෝකය දාලා ගිහින් තිබුණා. දුවගේ මරණයෙන් බ්‍රැඩ් සම්පූර්ණයෙන්ම අසරණ වුණා, පිස්සෙක් වගේ ජීවත් වුණේ. ඒ දරාගත නොහැකි වේදනාව අස්සේ තමයි ඔහු අලුත් ෆෝන් නම්බර් එකක් ගන්නේ. ඒ නම්බර් එක තමයි චැස්ටිටිගේ තාත්තා පාවිච්චි කරපු පරණ නම්බර් එක
බ්‍රැඩ් නම්බර් එක අරන් ටික දවසක් යද්දී, එයාගේ ෆෝන් එකට නොදන්නා කෙල්ලෙක්ගෙන් මැසේජ් එන්න ගත්තා. ඒ චැස්ටිටි තමන්ගේ තාත්තාට එවපු මැසේජ්. බ්‍රැඩ් මුලින් හිතුවේ මේක වැරදීමකින් ආපු එකක් කියලා. හැබැයි දවසින් දවස මේ මැසේජ් එන්න ගත්තාම බ්‍රැඩ්ට තේරුණා මේ ඉන්නේ තමන්ගේ තාත්තාව අහිමි වුණු, දුකෙන් ඉන්න අසරණ දුවෙක් කියලා.
බ්‍රැඩ් ඒ මැසේජ් එකකටවත් රිප්ලයි කළේ නැහැ. මොකද ඔහු බය වුණා තමන් රිප්ලයි කළොත් ඒ කෙල්ල බය වෙලා මැසේජ් කරන එක නතර කරයි කියලා. හැබැයි බ්‍රැඩ් හැමදාම රෑට ඇය එවපු මැසේජ් ආසාවෙන් කියෙව්වා.
බ්‍රැඩ් එවපු දීර්ඝ මැසේජ් එකේ අවසාන කොටස කියවද්දී චැස්ටිටිගේ ඇස්වලින් කඳුළු දාරානිපාත වැස්සක් වගේ කඩා හැලෙන්න ගත්තා. බ්‍රැඩ් මෙහෙම ලියලා තිබුණා
"දුවේ, මගේ දුව නැතිවුණාම මම හිටියේ මැරෙන්න හිතාගෙන. හැබැයි ඔයා හැමදාම එවපු මැසේජ් මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දුන්නා. ඔයා කැම්පස් එකේ වැඩ ගැන කියද්දී, ඔයාගේ ආදරය ගැන කියද්දී, ඔයා පිළිකාව එක්ක සටන් කරලා ඒක දිනුවා කියද්දී... මට දැනුණේ මගේම දුව ජීවතුන් අතර ඉඳන් මට ඒ දේවල් කියනවා වගේ.
දෙවියන් වහන්සේ මට මගේ දුවව අහිමි කළා, හැබැයි ඒ වෙනුවට මගේ හිත හදන්න ඔයාව එව්වා. ඔයා ඇත්තටම පුදුමාකාර කෙල්ලෙක්. ඔයාගේ තාත්තා අහසේ ඉඳන් ඔයා දිහා බලලා ගොඩක් ආඩම්බර වෙනවා ඇති. මට මේ අවුරුදු හතරටම ඔයාට රිප්ලයි කරන්න ඕන වුණා, ඒත් ඔයාගේ හිත රිදෙයි කියලා මම බය වුණා. හැබැයි අද ඔයා එවපු මැසේජ් එක මගේ හදවතටම දැනුණා. මට තවත් නොකියා ඉන්න බැරි වුණා.
දිගටම ශක්තිමත්ව ඉන්න දුවේ. ඔයා මට මේ ලෝකේ ඉන්න දේවදුතියක් වගේ..."
මේ සිදුවීමෙන් චැස්ටිටි කෙතරම් කම්පනයට පත්වුණාද කිවහොත්, ඇය තමන් බ්‍රැඩ්ට එවපු මැසේජ් එක සහ බ්‍රැඩ් තමන්ට එවපු දිගු පිළිතුරු පණිවිඩයේ Screenshots තමන්ගේ ෆේස්බුක් ගිණුමට එකතු කළා. ඇය ඒ පෝස්ට් එකට මෙහෙම සටහනක් දැම්මා
"මම අවුරුදු 4ක් තිස්සේ මගේ තාත්තාට මැසේජ් කළා. අද මට තේරුණා හැමදේම සිද්ධ වෙන්නේ හේතුවක් ඇතුවයි කියලා. මගේ තාත්තා පණපිටින් නැතත්, එයා තවත් අසරණ වුණු පියෙකුගේ ජීවිතය බේරගන්න මාව පාවිච්චි කරලා තියෙනවා. දැන් මට මගේ හිත හදාගන්න පුළුවන්. මගේ තාත්තා සාමයෙන් සැතපේවි..."
පෝස්ට් එක දාලා පැය කිහිපයක් යද්දී මේක ලැව්ගින්නක් වගේ Share වෙන්න ගත්තා. ලෝකය පුරා මිලියන ගණනක් මිනිස්සු මේ පෝස්ට් එක දැකලා ඇඬුවා. ජාත්‍යන්තර මාධ්‍ය පවා චැස්ටිටි සහ බ්‍රැඩ් සොයාගෙන ගොස් මේ ගැන විශේෂ වාර්තා වැඩසටහන් කළා.
මිත්‍රවරුනි අහම්බයන් කියලා දෙයක් නැහැ.. අපේ ජීවිතයට මුණගැසෙන සමහර මිනිස්සු, සිදුවන සමහර සිදුවීම් පිටුපස අදෘශ්‍යමාන විශ්වීය බැඳීමක් තියෙනවා. තමන්ගේ දුක තනියම විඳවනවාට වඩා, එය කුමන හෝ ආකාරයකින් පිට කිරීම මනසට සහනයක් දෙනවා වගේම, නොදැනුවත්වම තවත් කෙනෙක්ව සුවපත් කරන්නත් ඒකට පුළුවන්.
මරණයට පුළුවන් ශරීරයක් විනාශ කරන්න විතරයි. හැබැයි ආදරණීයයන් අතර තියෙන බැඳීම විනාශ කරන්න මරණයටවත් බැහැ.
ඉතින්, ඔයාලටත් මේ වගේ අහිමි වුණු ආදරණීයයන් ඉන්නවා නම්, එයාලගේ මතකයන් එක්ක ජීවත් වෙන්න බය වෙන්න එපා. සමහරවිට ඔයාලා නොදන්නවා වුණාට, ඔයාලගේ ඒ මතකයන් තවත් කෙනෙක්ගේ ජීවිතයකට ආලෝකයක් වෙනවා ඇති...
Comments
Post a Comment