ගෑස් සිලින්ඩරයෙන් 70%ක් ඉතිරි කරගන්න කුස්සියේ තියෙන "මැජික් යන්ත්‍රය"
- Get link
- X
- Other Apps
අද කාලේ ගෑස් සිලින්ඩරයක් රත්තරන් වගේ වටිනවා. කාර්යබහුලත්වයත් එක්ක කුස්සියේ පැය ගණන් රස්තියාදු වෙන්න කාටවත් වෙලාවක් නෑ. ගොඩක් අය ගෙදර ප්‍රෙෂර් කුකර් එකක් තිබුණත් "පුපුරයිද?" කියන බයට පාවිච්චි කරන්නේ නෑ. හැබැයි ඔයා දන්නවද , ප්‍රෙෂර් කුකර් එක නිවැරදිව පාවිච්චි කළොත්, මේක තමයි ලෝකේ තියෙන ආරක්ෂිතම සහ ලාභදායී උපකරණය. අද විශ්ම ලෝකයෙන් අපි ඔබව ප්‍රෙෂර් කුකර් භාවිතය පිලිබදව ඔබ මෙතෙක් නොදැන සිටි සියලු දේවල් කියා දෙන්නම්. ඒ වගේම පොස්ට් එක අවසානෙට ඔබේ ප්‍රශ්න සේරටමත් පිළිතුරු දෙන්නම්.
අංක 01 - ගෑස් සිලින්ඩරයෙන් 50% - 70% අතර ගෑස් ඉතුරු වෙනවා
සාමාන්‍ය භාජනයක මස් කිලෝ 1ක් තැම්බෙන්න පැයක් (විනාඩි 60) යනවා නම්, ප්‍රෙෂර් කුකර් එකේ යන්නේ විනාඩි 15යි. ඒ කියන්නේ ඔබ එක වේලකින් ගෑස් 75%ක් ඉතිරි කරනවා. මේකෙන් ලැබෙන අනිත් වාසිය තමයි , වේගයෙන් උයන්න ඔබට හැකියාව ලැබීම. ඉතින් අද කාලේ ගෑසුත් භාගෙට භාගයක් ඉතුරු කරන් , ඉතාම අඩු කාලයකින් උයලා ඉවර කරන්න පුළුවන් නම් , ඒක ගෘහණියකට කොච්චර වැදගත්ද ?
අංක 02 - ආහාර රසවත් වෙලා පෝෂණ ගුණයත් ආරක්ෂා වෙනවා
විවෘත භාජනයක උයද්දී වාෂ්පෙත් එක්ක විටමින් වර්ග එළියට යනවා. කුකර් එකේ ඔක්කොම ඇතුලේ හිරවෙන නිසා පෝෂණය 100%ක්ම රැකෙනවා. මේ නිසා පුංචි බබාලාට දෙන්න ඇට වර්ග එහෙම තම්බන්න ප්‍රෙෂර් කුකර් එක හොදටම හොදයි. ඒ වගේම ප්‍රෙෂර් කුකර් එකේ උයන ආහාර හරිම රසවත්. මස් වලට තුනපහ අල්ලන්නේ නැති ප්‍රශ්නෙට හොඳම විසඳුම මේකයි. ප්‍රෙෂර් කුකර් එකේ පීඩනය නිසා මස් කෑල්ලේ ඇටේ ඇතුළටම ලුණු ඇඹුල්, තුනපහ රසය බලෙන් ඔබනවා වගේ වැඩක් වෙන්නේ.
අංක 03 - ආහාර වල සියලු විෂබීජ විනාශ වීම
ප්‍රෙෂර් කුකර් එක ඇතුලේ 121°C උෂ්ණත්වයක් හැදෙන නිසා ආහාර වල තියෙන අහිතකර බැක්ටීරියා ඔක්කොම මැරෙනවා. මේ නිසා ළදරුවන්ගේ කිරි බෝතල් තම්බන්නත් මේක නියමයි (Sterilization).
අංක 04 - එක් එක් ආහාර සදහා විසිල් ගණන සහ ගතවන දළ කාලය (Time Chart) (ලිපේ ගින්දර සහ කුකර් වර්ගය අනුව වෙනස් විය හැක).
බත්: විසිල් 02 (විනාඩි 8-10) - හාල් කෝප්ප 1ට වතුර කෝප්ප 2යි.
පරිප්පු: විසිල් 02 (විනාඩි 3-5) - වැඩි වුණොත් කැඳ වේ.
චිකන්: විසිල් 02-03 (විනාඩි 10-12)
හරක් මස්/එළු මස්: විසිල් 04-06 (විනාඩි 20-25)
කඩල (පෙඟවූ): විසිල් 04-05 (විනාඩි 15)
කඩල (නොපෙඟවූ): විසිල් 08-10 (විනාඩි 25-30)
අල: විසිල් 02-03 (විනාඩි 8-10)
බෝංචි/එළවළු: විසිල් 01 (විනාඩි 3-4)
අංක 05 - විශේෂ කෑම වර්ග හදන රහස් (Special Recipes)
කිරිබත් (විනාඩි 15න්): මුලින්ම කිරි දාන්න එපා! හාල් සහ වතුර (කෝප්ප 1 : 2.5) දාලා විසිල් 3-4ක් දීලා බත් එක තම්බගන්න. ඊටපස්සේ පියන ඇරලා, මිටි කිරි දාලා, පියන නැතුව කිරි හිඳෙනකම් හැඳිගාන්න. (මුලින්ම කිරි දැම්මොත් උතුරලා යනවා/අඩිය අල්ලනවා).
කේක් (Baking Method): මේකෙදි වතුර දාන්නේ නෑ! කුකර් එකේ රබර් එක (Gasket) සහ විසිල් එක (Weight) ගලවන්න. අඩියට ලුණු/වැලි දාලා, කේක් තැටිය ස්ටෑන්ඩ් එකක් උඩින් තියලා අඩු ගින්දරේ විනාඩි 40ක් බේක් කරන්න. හරියටම අවන් එකක් වගේ!
පුඩින්/වටලප්පන් (Steaming Method): අඩියට වතුර දාලා, පුඩින් භාජනය වතුර යන්නේ නැති වෙන්න හොඳට වහලා ඇතුළෙන් තියන්න. මේකට විසිල් එක දාන්න. විසිල් 1කට පස්සේ අඩු ගින්දරේ විනාඩි 20ක් තියන්න.
අංක 06 - කුකර් එක පුපුරයිද?" - මේ දේවල් 03 කළොත් ප්‍රෙෂර් කුකර් එකක් කවදාවත් පුපුරන්නේ නෑ! (100%ක් සහතිකයි)
ආරක්ෂාව තමයි අංක 01 (Safety First) ගොඩක් අය ගෙදර ප්‍රෙෂර් කුකර් එකක් තිබුණත් ඒක පාවිච්චි කරන්න බයයි. හැබැයි ඇත්තටම ගෑස් ළිපකට වඩා ප්‍රෙෂර් කුකර් එක ආරක්ෂිතයි කියන එක ඔබ දන්නවාද? කුකර් එකක් පුපුරන්න පුළුවන් ප්‍රධාන හේතු 03ක් තියෙනවා. මේ ටික හරියට චෙක් කළොත්, බය වෙන්න කිසිම දෙයක් නෑ.
1. "අහස බලන" ටෙස්ට් එක (The Light Test)
කුකර් එක ලිපේ තියන්න කලින්, පියන අරගෙන විසිල් එක (Weight) ගලවලා, විසිල් එක හයි කරන බටය (Vent Pipe) තුළින් අහස හෝ ලයිට් එක දිහා බලන්න. ඔබට බටය තුළින් එහා පැත්තේ ආලෝකය පෙනෙනවා නම්: 100%ක් ආරක්ෂිතයි!
ආලෝකය පෙනෙන්නේ නැත්නම්: ඒ කියන්නේ බටේ මැද කෑම හිරවෙලා. එතකොට හුමාලය යන්න තැනක් නැතුව තමයි පුපුරන්න බලන්නේ. වහාම කූරක් දාලා සුද්ද කරන්න.
2. වතුර සහ කෑම ප්‍රමාණය (Don't Overfill) කුකර් එකේ කටටම එනකම් කෑම පුරවන්න එපා.
සාමාන්‍ය කෑම: කුකර් එකෙන් 2/3 කට වඩා පුරවන්න එපා.
පෙන දාන කෑම (කඩල/පරිප්පු): කුකර් එකෙන් 1/2 (භාගයක්) ට වඩා පුරවන්න එපා. හුමාලය හැදෙන්න ඉඩ තියන්න ඕනේ.
3. බලෙන් අරින්න එපා (Don't Force Open)
ලිපෙන් බාපු ගමන්, හුමාලය තියෙද්දී බලෙන් පියන අරින්න හැදුවොත් තමයි ලොකුම අනතුර වෙන්නේ. "ෂුස්" ගාන සද්දේ සම්පූර්ණයෙන්ම නැවතුනාට පස්සේ විතරක් අරින්න.
මොකක්ද මේ Safety Valve එක? ඔය පියනේ පැත්තක තියෙන පොඩි රවුම් කෑල්ල (Safety Valve) තමයි ඔයාගේ ජීවිතාරක්ෂකයා. මොකක් හරි වෙලා විසිල් එක හිර වුණොත්, මේ වෑල්ව් එක ඉබේම දියවෙලා හුමාලය එළියට යවනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ, කුකර් එක ඇතුලේ "Backup Plan" එකක් කොහොමත් තියෙනවා.
"විසිල් බටේ හිල පේනවද කියලා බලන එකයි, හුමාලය යනකම් ඉඳලා අරින එකයි කළා නම්, ප්‍රෙෂර් කුකර් එකක් කියන්නේ බත් උයන මුට්ටියටත් වඩා ආරක්ෂිත උපකරණයක්."
හරි මන් හිතනවා දැන් ප්‍රෙෂර් කුකර් එකට තිබුණු ඔයාගේ අනවශ්‍ය බය ගියා කියලා
අංක 07 - පිරිසිදු කිරීම සහ නඩත්තුව
ප්‍රෙෂර් කුකර් එක භාවිතයෙන් පස්සේ රබර් එක සහ විසිල් එක ගලවලා දත් බුරුසුවකින් මැදලා හෝදන්න. හෝදලා ඉවර වෙලා අනිවාර්යයෙන්ම අව්වේ හොඳට වේලන්න. තෙත පිටින් වහලා තිබ්බොත් පුස් ගඳ එනවා වගේම රබර් එක ඉක්මනින් නරක් වෙනවා.
ප්‍රෙෂර් කුකර් එක කියන්නේ බත් උයන්න විතරක් තියෙන එකක් නෙවෙයි. බුරියානි, සුප්, පාස්තා, පොලොස් වගේ ඕන දෙයක් මේකෙන් හදන්න පුළුවන්. අද ඉඳන් බය නැතුව පාවිච්චි කරන්න!
සමාජ මාධ්‍ය ඇසුරෙන්
- Get link
- X
- Other Apps

Comments
Post a Comment